ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න

ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න



මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි.
රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි.
රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස්‌ කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස්‌ තීන්තය. එහි ඝන භාවයක්‌, ගොරෝසු භාවයක්‌, ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‌ෂාවක්‌ නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි. කොතැනකදීවත් සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින ඒ සිත නිරතුරුව අනිත්‍යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්‌වභාවයේ නිදහසයි.
ජීවිතයේ සියලු බැඳීම් හිස්‌කළ තැන, එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වන්නේ, එතෙක්‌ තමා රැස්‌කළ අයිති කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට දමාය. ඔබ එසේ සියල්ල අයින්කොට දමා පැමිණෙන්නේ ඇයි? අයින්කොට පැමිණි සියල්ල අතහැරීම සඳහාය.
හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි මෙන් පරතරය ඇති දෙයකි. පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔය අයින්කොට පැමිණි දේවල්.
මාපියන්, ඥතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජත්වය, කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියයන් හයට ඇලෙන දේවල් අයින්කොට දමා පැමිණ ඇත්තේ, ඒ සියල්ල අතහැරීම සඳහා ය. දැන් අරමුණ පැහැදිලිය.
එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණුවීමට සුදුසු රැස්‌කිරීම නොකරන ස්‌ථානයකි. මොනවා රැස්‌ නොකරන ස්‌ථානයක්‌ද? කෙළෙස්‌ රැස්‌ නොකරන ස්‌ථානයකි. සුවසේ සිත වැඩෙන ස්‌ථානයකි. එවැනි ආරණ්‍යයක්‌, ශූන්‍යාගාරයක්‌ නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයකුගේ ඇසුර ලබා ගනිමින් හුදකෙලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා ඔබට උපකාරී නොවේ. ඉහත ස්‌වභාවයන් ඔබ ස්‌පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක්‌ බවට පත්වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යැම, තවමත් ඔබගේ ස්‌වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග ගසාගෙන යැමට නොව උඩුගංබලා පිහිනා යැමය. ඔබ අදක්‌ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස්‌ විදෙස්‌ ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පැමිණීමට ඔබට සිදුවනු ඇත. ඔබ කිසිවක්‌ අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහැරීමට පුරුදු කරන්න. ඔබ වයසින්. ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙක්‌ ලෙස අරමුණක්‌ ඇතිව ශාසනයට පැමිණි කෙනෙක්‌ බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්‌සේරුවකට නොඑන්න වගබලාගන්න.
සාමණේර ශීලය, උපසම්පදා ශීලය, ඉක්‌මවා ගිය ශීලයක්‌ මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. එම ශීලය තව කෙනකුන් ගෙන් ලැබිය හැකි දෙයක්‌ නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිටකොට ලබාගත යුත්තක්‌ බව සිහි තබා ගන්න.
විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක්‌ මිස, තමාගේ දෑත් දෙපා ස්‌ව කැමැත්තෙන් බැඳ ගන්නා වරපටක්‌ හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක්‌ නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක්‌ නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක්‌ උපයෝගී කරගන්නා සේ, විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්‌පර්ශ වන සැණින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරැදි වෙමින් අතහරින දෙයක්‌ මිස බදාගන්නා දෙයක්‌ නොවේ. වැරැදි අතහැරීමට විනය බදා ගැනීම තුළ රැස්‌වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය.
විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. ධර්මයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත්වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරැදි කිරීමට නොවේ. වැරැදි කිරීමේ ස්‌වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරැදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවකි. විනය සමගින් ගැටෙමින් නොසිට ඔබගේ දුර්වලකම් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් සියයක්‌ ඇතොත් ඒ පොත් සියයම එක මත එක තබා, පොත් සියයටම උඩින් “චේතනාහං භික්‌ඛවේ කම්මන් වදාමි” යන බුදු බණ පදය තබන්න.
නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න.
නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.

මාර ප්‍රතිපදාව

මාර ප්‍රතිපදාව



ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුළ හික්‌මිය යුතු යෑයි අවධාරණය කළහ. තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ දරමින් රුක්‌ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්‍ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස, සසරින් එතෙරවීමට වෙරවඩන භික්‍ෂුවට දැක්‌වූයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස්‌ වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්‌විය හැකිය. ශාසනය තුළ ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක්‌ නොමැත. එහෙත් සසර දුකින් එතෙර වීමේ ප්‍රතිඵල අනපේක්‍ෂිතය. පාත්‍රය දරන පිණ්‌ඩපාතික භික්‍ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබාගත හැකි ක්‍රමය පැහැදිළිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්‌වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතැනය. භික්‍ෂුව පිණ්‌ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යෑපීම මධ්‍යම ප්‍රතිපදාවයි.
කප්පිය කුටියේ වියළි ආහාර තබාගෙන තිබෙන ස්‌ථානයක දානයට මිරිසට, තෙලට, බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහස ඇත. එම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීමේ වරදක්‌ද නොමැත.
මම නැවතත් කියමි.
විනය ඇත්තේ අදක්‍ෂයාටය. දක්‍ෂයා ලද දෙයින් සතුටුවෙයි. නිවන් මඟ වැඩීමට බලාපොරොත්තුවන භික්‍ෂුව ගොඩගසන්නෙක්‌ හෝ රැස්‌කරන්නෙක්‌ නොව කුසගිනි සෑහීමට පත්වූ කල ඉතිරිය අතහරින්නෙකි. හෙට දවසක්‌ ඔහුට නැත. ඔහු ජීවත්වන්නේ වර්තමානයේය.
වර්තමානයේ මෙම අර්ථය හාස්‍යයක්‌ වීමටද පුළුවන. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක්‌ නොව, බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද?
එහෙත් මෙම මොහොතේදී ඉහත මඟ වඩන බුදු පුතුන්, මෙම මඟ වැඩීමට උත්සහ ගන්නා, වීරිය වඩන, සරණක්‌- මඟක්‌ සොයනා බුදු පුතුන් විශාල පිරිසක්‌ මේ දෙරණ මත වැඩසිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින කැලයේ යෑපෙන්නේ පාංශකූල සිවුරෙන්, පිණ්‌ඩපාතයෙන් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන මාධ්‍යකරුවන් නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහණය කරනුයේ බදාගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම නිවන් අරමුණ ජයගන්නාතුරු කය ආරක්‍ෂා කරගත යුතු නිසාය. භික්‍ෂුව ප්‍රත්‍යාවේක්‍ෂයෙන් වැළඳිය යුත්තේ දායකයා පූජාකරන ආහාරයයි. එම ආහාර රස ගුණ මදියෑයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදාගත් දෙය ප්‍රත්‍යවේක්‍ෂාකොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කළ හැකි බව මමද පිළිගනිමි. යමෙක්‌ එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්‌වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය.
නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්‌ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවධි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුඛල්ලිකානු මඟත් අතරමැදද අන්තයක්‌ ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුඛල්ලිකානු මග නොවේ. මධ්‍යම සහ කාමසුඛල්ලිකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියටම ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්‍ෂාව මෙනි. උපේක්‍ෂාව තුළ ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්‌ථාවේදී මධ්‍යම ප්‍රතිපදාව ඉක්‌මවා ගිය තත්ත්වයකුත්, කාමසුඛල්ලිකානු මඟ ස්‌පර්ශ කරන ස්‌වභාවයකුත් ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යෑයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යෑයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්‌මෙමින් අපි නිවන් මඟ සොයන්නෙමු. එළදෙන පැටවා සමඟ සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුල්ලත් දෙකම ඇත.
විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක්‌ නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා එකතු කරාටද වැඩක්‌ නොමැත. ඔබ එළදෙනගෙන් පස්‌ගෝ රස ලබාගැනීමට දක්‍ෂ විය යුතුය. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ එය අවබෝධ කර ගැනීමෙන්ය. ඊට මඟ සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි.
තුන් සිවුරත් පාත්‍රයත් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්‌ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත් අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක්‌ ඇත්තේ එතැනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්‌කේ ප්‍රඥාවෙන් පමණකි.
ලෝකයේ බරින් නිදහස්‌වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස්‌වන්න. ඔබේ බරින් ඔබ නිදහස්‌ වූ විට, ඔබ මෙතෙක්‌ දරා සිටියේ ලෝකයේ බරම බව ඔබට තේරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස්‌වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවී. මා ලෝකය ජයගත්තාය කියලා.
ලෝකය ජයගැනීමේ ශක්‌තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කළ යුත්තේ එය මතුකර ගැනීම පමණක්‌මය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක්‌ ඔබට දුක්‌ විඳීමට සිදුවනු ඇත.

සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාව යනු

සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාව යනු



ආහාර වේලක්‌ ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි.
ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය.
එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට යන ලෙඩවෙන, මැරෙන කයක්‌ බව අවබෝධකර ගැනීමටය. ඔබ ගන්නා ආහාරයම ඔබව කවදා හරි දිනයක රෝගියෙක්‌ බවටද පත්කර ඔබව මරාදමනු ඇත. රෝගි බවට පත්වීමේ සියයට සියයක්‌ම හේතුව ආහාර වල අඩු වැඩි බවයි.
ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත්, ව්‍යංජන, පලතුරු, කැවිලි එම ස්‌වභාවයෙන් නොදැක පාත්‍රයේ ඇත්තේ අසුචි, මුත්‍රා, සෙම්, සොටු දහඩිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි, වතුර කෝප්පය මුත්‍රා කෝප්පයක්‌ ලෙස දකින්න. වළඳන සුදුළුණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක්‌ සේ දකින්න. වළඳන කිරි කෝප්පය ශරීරයෙන් ඉවත දමන සෙම ගුලියක්‌ සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක්‌ නොව එම ආහාරයේ යථාස්‌වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්මයි. සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාවද එයයි. එසේ නොමැතිව ඇති පදම් කැමති කැමැති දේ වළඳා රාත්‍රි බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යාවේක්‍ෂ ගාථා කීම නොවේ.
ඔබ ප්‍රත්‍යාවේක්‍ෂාව වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම්, දිග පළල, වර්ණ ස්‌වරූපයන්ට අනුවම ඔබ මසාගන්නා ඇඳුම්වලට සරිලන චරිත ඔබට මතු සසරදී ලැබෙනු ඇත. එය ඔබේම තෝරාගැනීමයි. සඡ්ජායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනාකිරීමෙන් ලැබෙන දෙයක්‌ නොමැත. යමක්‌ ලැබිය හැක්‌කේ ක්‍රියාත්මකභාවය තුළින්මය.
ඔබ අදිටන් කරගන්න. දිව්‍ය ලෝක වල දිව්‍ය භෝජන, මනුෂ්‍ය ලෝකවල රාජ භෝජන, ප්‍රේත ලෝක වල සෙම සොටු, තිරිසන් ලෝකවල තණකොළ පුන්නක්‌කු, නිරයේ ගින්දර ආදිය මහපොළොවේ පස්‌ වලට ප්‍රමානාත්මකව රසබලා ඇති මම තවදුරටත්, රසයට “දිවට” ලොල් නොවේය යන සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාවට.
එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දානය, මාරයාගේ පොෂණය සඳහා යොදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණයෙන් නිදහස්‌ විය හැක්‌කේ රසය හෝ ගුණය පසුපස යැමෙන් නොව, ආහාරයේ සහ ආහාරයෙන් පොෂණය වන කයේ ස්‌වභාවය පසුපස යැමෙන්ය. කප්පිය කුටියේ, වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක්‌, පෝෂ්‍යදායී කිරිපිටි, ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවළු යීස්‌ට්‌ සාරයෙන් තැනූ පානවර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහළට තේ හැන්දක ප්‍රමානයක්‌ ගිලගැනීමට බැරි දවසක්‌ අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දෙස බලා කෙළ ගිළිමින් මිය යැමට සිදුවනු ඇත. කෙළ ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය.
රස සොයන, රස ඉල්ලන හිත අනිත්‍යවශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වුවහොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යාවේක්‍ෂා කිරීමට අවශ්‍ය නොවනු ඇත.
ඔබ කැමතිම ආහාරයක්‌ නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම්, එම ආහාරය පිළුණු කසළ ගොඩක්‌, මළ මුත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කරගැනීමට යැම හේතුවෙන් සසර ඔබ විඳි දුක්‌ කන්දරාවන්, වර්තමානයේ විඳින, අනාගතයේ විඳීමට සිදුවන දුක්‌ ගොඩත් මෙනෙහි කරන්න. ඔබට අයිතියක්‌ නැති ආගන්තුක සිතක්‌ නිසා මෙතරම් දුක්‌ කන්දරාවක්‌ විඳින, පෘතග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
ආහාරයේ සුවඳ, ගිලෙන කෙළ, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පිංවතුන් පූජා කරන ප්‍රමානය, සශ්‍රික බව, විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුළ නවතින්න. කුසෙන් අඩක්‌ ආහාරද, කොටසක්‌ ජලයද, කොටසක්‌ හිස්‌වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කරගැනීමට ශාස්‌තෘන්වහන්සේගේ ඉගැන්වීම්වලට මිස දායක පිංවතුන්ගේ කැමැත්තට ඉඩනොදෙන්න. මෙහි අදහස්‌ වලංගුවන්නේ මේ ආත්මභාවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. කැමැති පිංවත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස්‌වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.